නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි ජනරජ නාවික හමුදාවේ ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, ඊයේ(18) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරු කිරීම වැනි නාවික අභ්‍යාස සාර්ථකව සිදුකරන ලද අතර, නෞකා අතර සිදුකෙරුණු ආචාර හා සමාචාරයෙන් පසුව ඒකාබද්ධ අභ්‍යාසය නිමාවට පත්විය.
‘TCG BÜYÜKADA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ නැව්මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේදී සංවිධානය කෙරුණු වොලිබෝල් තරඟාවලියක් සඳහා මෙන්ම, දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී විය. එමෙන්ම, එම නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමට සහ එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හටද අවස්ථාව උදා විය.