ඩකා නුවර වෙසෙන ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනි අතිගරු Nina P. Cainglet මහත්මිය ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අග්‍රාමාත්‍යවරිය තානාපති Cainglet මහත්මිය පිළිගත් අතර ඇගේ නව පත්වීම පිළිබඳව සිය සුබ පැතුම් පිරිනැමුවාය. මෙම සාකච්ඡාවේදී වෙළඳ හා සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, මෙම ප්‍රධාන අංශවල නව අවස්ථා පිළිබඳ සොයා බැලීමටද දෙපාර්ශ්වයම එකඟ වූහ. ශ්‍රී ලංකාවේ පිලිපීන ප්‍රජාවට අදාළ කොන්සියුලර් කරුණු ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන්, අදාළ වන කාරණා පිළිබඳ අඛණ්ඩව සාකච්ඡා කිරීමටත්, අවශ්‍ය සහයෝගය ලබාදීමටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව පළ කෙරිණ.
ඩකා හි පිලිපීන තානාපති කාර්යාලයේ උප කොන්සල් Judienne Capiz, මහත්මියද මෙම රැස්වීමට සහභාගී විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු (නැගෙනහිර) අතිරේක ලේකම් එස්.එස්. ප්‍රේමවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ආර්. කීගල් යන මහත්ම මහත්මීන් මෙම හමුවට සහභාගී වූහ.