Tuesday, March 25, 2025
Follow Us
වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා සහ මෙරට අගමැතිනි, කතානායක අතර හමුවක්
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා (නියෝජ්ය කථානායක) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි
 
දූත පිරිස අග්රාමාත්යවරිය, නියෝජ්ය කථානායකවරයා සහ අමාත්යවරුන් කිහිපදෙනෙකු ද හමුවෙයි
 
ශ්රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මය, වෙළඳාම, සංචාරක ව්යාපාරය ඇතුළු අංශ ගණනාවක සබඳතා පුළුල් කිරීමට පියවර...
 
මාර්තු 19 සිට 22 දක්වා ශ්රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරතව සිටි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ  උප සභාපති (නියෝජ්ය කථානායක) නුයෙන් ඩක් හායි (Nguyen Duc Hai) මහතා ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක් පසුගියදා (20) පාර්ලිමේන්තු පරිශ්රයේදී  කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා හමුවිය.
 
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි මෙම දූත පිරිසට වියට්නාම් ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ නිලධාරීන් පිරිසක් ඇතුළත් වූ අතර විවිධ ක්ෂේත්ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණයි.
 
1970 දී පිහිටුවන ලද ශ්රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන එකිනෙකාගේ කැපවීම දෙපාර්ශ්වය විසින් මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ශ්රී ලංකාව සහ වියට්නාමය අතර අන්යෝන්ය ගෞරවය සහ වටිනාකම් මත පදනම් වූ දිගුකාලීන සහ සමීප සම්බන්ධතාවයක් පවතින බව  කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
 
වියට්නාමයේ නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපතිවරයා කළ ආරාධනය ශ්රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන ඇති බවත් එම නිල සංචාරය 2025 මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
 
සංවර්ධන අංශයෙන් වියට්නාමය ලබා ඇති ජයග්රහණ කථානායක වික්රමරත්න මහතාගේ ඇගයීමට ලක්වූ අතර, වියට්නාමය සමඟ වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ඉහළ නැංවීම සඳහා ශ්රී ලංකාව අපේක්ෂා කරන බවද ප්රකාශ කළේය. ශ්රී ලාංකික ආයෝජකයින් දැනටමත් වියට්නාමයේ ඇමරිකානු ඩොලර් මිලියන 45 කට ආසන්න ආයෝජන සිදුකර ඇති බවත්, එමඟින් රැකියා 15,000 කට අධික ප්රමාණයක් නිර්මාණය වී ඇති බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය. වියට්නාම ආයෝජකයින්ට ශ්රී ලංකාව තුළ ආහාර සැකසීම, කෘෂිකර්මාන්තය සඳහා ශීතාගාර ස්ථාපිත කිරීම සහ කෘෂි තාක්ෂණය යන ක්ෂේත්රවල ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙස කථානායකවරයා මෙහිදී ආරාධනා කළේය. එමෙන්ම මෙරට දැරිය හැකි මිලකට කෘෂිකාර්මික යන්ත්රෝපකරණ ලබා ගැනීම සඳහා අවස්ථා වැඩිදියුණු කිරීම සහ ඒ ආශ්රිත කුසලතා සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මගින් කුඩා පරිමාණයේ ගොවීන්ට තාක්ෂණික සහාය ලබා දීම සඳහා දෙරට අතර සහයෝගීතාව වැඩිකිරීමට මැදිහත් වන ලෙසද කථානායකවරයා ඉල්ලීමක් කළේය.
 
මෙහිදී අදහස් පළකළ වියට්නාම් ජාතික සභාවේ සභාපති (නියෝජ්ය කථානායක)  නුයෙන් ඩක් හායි මහතා, ශ්රී ලංකාව මෑත කාලීනව ළගා කරගෙන ඇති ආර්ථික ප්රගතිය සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වියට්නාමය කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළ ඒ මහතා වෙළඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ස්ථාපනය කිරීම සඳහා වියට්නාමය අපේක්ෂා කරන බවද වියට්නාම් ජාතික සභාවේ සභාපතිවරයා පැවසීය.
 
අවබෝධතා ගිවිසුමක් (MOU) හරහා දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ දෙපාර්ශ්වයේම එකඟතාවය මෙහිදී පළ කෙරිණි. ඩිජිටල්කරණය හරහා පාර්ලිමේන්තු ක්රියාදාමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් පළවිය.
 
දූත පිරිස පාර්ලිමේන්තු පරිශ්රයේදී අග්රාමාත්ය (ආචාර්ය) හරිනි අමරසූරිය ද හමුවූ අතර අග්රාමාත්යධුරයට ඇයගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් පිරිනමමින් දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාමයේ කැපවීම නැවත අවධාරණය කළේය. එමෙන්ම දෙරට අතර දේශපාලන සබඳතා වැඩි දියුණු කිරීමට, ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට සහ නිදහස් වීසා ක්රියාවලියක් සහ සෘජු ගුවන් ගමන් හඳුන්වාදීම පිළිබඳව අවධානය යොමු කිරීමට ද දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළකළ අතර ඒ සඳහා යාන්ත්රණයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
 
මෙම පාර්ලිමේන්තු සංචාරයේදී නුයෙන් ඩක් හායි මහතා ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්ය කථානායක  (වෛද්ය) රිස්වි සාලි මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දෙපාර්ශ්වයම දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම අවධාරණය කළහ.
 
දෙරට අතර අන්යෝන්ය ප්රතිලාභ සඳහා වෙළඳ හා ඩිජිටල් ආර්ථික අංශවල සහයෝගීතාවය සඳහා ඇති අවස්ථා සොයාබැලීමට නියෝජිත පිරිස ශ්රී ලංකාවේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ සහ ඩිජිටල් ආර්ථික ගරු නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න යන මහත්වරුද හමුවිය.
 
ශ්රී ලංකා-වියට්නාම් පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සාමාජිකයින්ද වියට්නාම නියෝජිත පිරිස හමුවූ අතර දෙරට අතර රාජ්ය තාන්ත්රික සබඳතාවලට වසර 55 ක් පිරීම සනිටුහන් කිරීම සඳහා වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා ශ්රී ලංකා පාර්ලිමේන්තු පරිශ්රයේ පැළයක් ද රෝපණය කළේය.
 
වියට්නාම දූත පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹීමට එක්වූ අතර ඔවුන් පාර්ලිමේන්තු පරිශ්රයේ සංචාරයකට ද සහභාගී විය.
 
මෙම අවස්ථාවන් සඳහා ශ්රී ලංකාවේ වියට්නාම් තානාපති ට්රින් ති ටම්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.