Monday, March 31, 2025
Follow Us
ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ  දැවැන්ත ආයෝජනවලට අපි සූදානම්- ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා (Khaled Nasser AIAmeri) පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමු විය.

එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා, තමන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද බැහැදුටු බවත් ඉතා සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති රටක් ලෙස ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තනය ඉතා සුබවාදී ලෙස දකින බවත් විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබදව ඉතා උනන්දුවෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.

තවද ඉදිරි දිනවලදී කිරීමට නියමිත ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේදී ඉහත ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට හා විවිධ එකගතා ඇතිකර ගැනීමට ඉතා සුදුසු අවස්ථාවක් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

එහිදී කරුණු දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, ලාංකිකයන්  විශාල වශයෙන් රැකියා කරන ලංකාවේ හයවෙනි අපනයන වෙළදපොළද වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ධනවත් හා සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසත්, දැඩි මිත්‍රත්වයකින් බැදුණු රටක් ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බැදුණු සියළුම ආකාරයේ සම්බන්ධතා ඉතාමත් අගය කරන බවත් සඳහන් කළේය.

විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්බන්ධතා එම මිත්‍රත්වය තවත් දැඩි කරනු ඇතැයිද විශ්වාසය පළ කළේය. කලාපයේ බලශක්ති ස්ථාවරත්වය සදහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කළ ඇමතිවරයා ජනාධිපතිවරයා සමඟ ඉදිරි සංචාරයට සහභාගී වන නිසා එහිදී තවත් එකඟතා රැසැක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.