Monday, January 27, 2025
Follow Us
ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය නීතිඥ හර්ෂණ නානායක්කාරට
ශ්රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පත් කෙරේ

ශ්රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ දසවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) පැවැත්විණි. මෙම රැස්වීමට ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, විපක්ෂ නායක සජිත් ප්රේමදාස,  අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්රධානී සහ නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ශ්රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරන ලද අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) පත්මනාදන් සත්යලිංගම් මහතා ලේකම්වරයා ලෙස පත් විය.
 
මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ප්රකාශ කළේ පසුගිය දශක හතක කාලය තුළ ශක්තිමත් වී ඇති ශ්රී ලංකා-එක්සත් රාජධානි සබඳතා මෙම මිත්රත්ව සංගමය හරහා තවදුරටත් වර්ධනය වන බවයි. අන්තර් පාර්ලිමේන්තු සබඳතා මෙන්ම වෙළඳාම, ආයෝජන සහ සංචාරක වැනි ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි කිරීමට එය වැදගත් අවස්ථාවක් බව කථානායකවරයා පෙන්වා දුන්නේය. ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයේදී එක්සත් රාජධානිය දැක්වූ සහයෝගය සහ පැරිස් සමාජ සාමාජිකයෙකු ලෙස ණය ප්රතිව්යුහගත කිරීම සඳහා දැක්වූ දායකත්වය කථානායකවරයාගේ ඇගයීමට ලක්විය. එසේම වැඩමුළු, සම්මන්ත්රණ සහ අධ්යයන චාරිකා හරහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීම සඳහා ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම ලබා දුන් සහය පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කළේය.
 
මෙම අවස්ථාවට එක්වෙමින් ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා පෙන්වා දුන්නේ ශ්රී ලාංකික සිසුන් 50,000 කට ආසන්න සංඛ්යාවක් දැනටමත් එක්සත් රාජධානියේ අධ්යාපනය ලබන බවත්, දෙරට අතර අධ්යාපන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත්ය. දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදීත් වර්ධනය කිරීම එක්සත් රාජධානියේ අරමුණ බව ඔහු අවධාරණය කළේය. ඉදිරි වසර 30ක කාලය තුළ ගෝලීය ආර්ථික වර්ධන පෙන්නුම්කිරීම් අනුව, මෙම කලාපය වඩාත් බලගතු වනු ඇති බවත්, ඒ අනුව ශ්රී ලංකාවට දීප්තිමත් අනාගතයක් උරුම වනු ඇති බවත් මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
 
ශ්රී ලංකා-එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වූ  අමත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම පත්කිරීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. සංගමය නැවත ස්ථාපිත කිරීම දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් බව ඔහු අවධාරණය කළේය. ඒ සඳහා සියලු දෙනාටම එක්ව කටයුතු කරන ලෙස ද ඔහු ආරාධනා කළේය.
 
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දුන්නේ ව්යවස්ථාදායක සහයෝගීතාව ඇතුළු දෙරට අතර සබඳතා පුළුල් කිරීම සඳහා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම වැදගත් බවයි