Thursday, December 26, 2024
Follow Us
යළි දිවයිනට ආපු සයුර නෞකාව

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන SLINEX – 24 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය, 2024 දෙසැම්බර් මස 16 සිට 20 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්විණි.

එම අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් සයුර නෞකාව ඊයේ (24) දිවයිනට සේන්දු විය.

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීත්වය හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා – ඉන්දියා නාවික අභ්‍යාසය සඳහා මෙවර ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවද, ඉන්දීය පාර්ශ්වය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් INS Sumitra නෞකාව සමඟ Chetak වර්ගයේ ගුවන් ආවේක්ෂණ හෙලිකොප්ටර් (Sea King Helicopter) යානාවක් සහභාගි විය.

ඒ අනුව, මෙම ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ වරාය අධියර 2024 දෙසැම්බර් මස 16 සහ 18 යන දෙදින තුළ ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී පැවැත්වුණි. එහිදී නාවික ශිල්පීය දැනුම හා ක්‍රමෝපායයන් හුවමාරු කරගැනීමේ අභ්‍යාස මෙන්ම, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සයුර නෞකාවේ නැව්මුළුව සහහභාගි විය. 2024 දෙසැම්බර් මස 19 සහ 20 යන දෙදින තුළ නැගෙනහිර ඉන්දීය ‍බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී අභ්‍යාසයේ මුහුදු අධියර පැවැත් වූ අතර, එහිදී වෙඩි තැබීමේ අභභාස (GUNEX), නෞකා පෙළ හැඩයන් පවත්වා ගනිමින් ගමන් කිරීම (Manoeuvres), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම (RAS Approaches), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ට වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX) සහ ගුවන් යානා යොදා ගනිමින් විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයින් නෞකාව වෙත ගොඩබැස්සවීම (Slithering) වැනි නාවික අභ්‍යාස රැසක් සිදු කෙරිණි.

මෙම ඉන්දු ලංකා ද්විපාර්ශ්වික අභ්‍යාසය මගින් දෙපාර්ශ්වය අතර අන්නෝන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීමටත්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් මහගු අවස්ථාවක් උදා වූ අතර, එමඟින් ඉදිරියේදී කළාපීය පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත.