Friday, October 18, 2024
Follow Us
කථානායක  8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිසක්  2024 ජූලි 21 සිට 25 දක්වා චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි පැවත්වෙන 8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගී විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියංකර ජයරත්න, එම්.එස් තවුෆීක් සහ  පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගෙන් මෙම දූත පිරිස සමන්විත විය.

ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ 2013 වසරේ ආරම්භයේ සිටම  ආර්ථික සහ වෙළඳ හුවමාරුව වර්ධනය කිරීම සඳහා චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සුවිශේෂි කාර්යභාර්යක් ඉටුකළ බවයි. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට ද  සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙමින් චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර සහයෝගීතාව  ශක්තිමත් කිරීමට ඉවහල්වූ බව කථානායකවරයා පෙන්වා දුන්නේය. එසේම චීන-ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මෙන්ම ආගත්තුක සත්කාරය වෙනුවෙන්  අබේවර්ධන මහතා චීනයේ වාණිජ අමාත්‍යාංශයට සහ යුනාන් පළාතේ රජයට සිය  කෘතවේදීත්වය පළ කළේය.

සිය සංචාරය අතරතුර  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්   2024 ජූලි 24 වැනි දින පැවති 5 වැනි චීන-දකුණු ආසියා සහයෝගිතා සංසදයේ සමාරම්භක උත්සවය ද අමතනු ලැබීය. මෙහිදී “කලාපීය සංවර්ධනය සඳහා සම්මුතියක් ගොඩනැගීම” යන සංසදයේ තේමාවට අනුව ගෝලීය සංවර්ධන අභියෝග සඳහා සාමූහික විසඳුම්වල අවශ්‍යතාව අවධාරණය කර සිටියේය. මෙම ගැටලුවලට විසඳුම් සෙවීම සදහා අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු අදාළ  සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කළේය. 

කථානායකවරයා චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරයට සහ ‘සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහට අදාළ  70 වැනි සංවත්සරයට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වසර 67 ක විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, වෙළඳ, ආයෝජන, සංස්කෘතික හුවමාරු සහ යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරමින්  ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාව කැපවන බව ඔහු අවධාරණය කළේය.