Sunday, September 08, 2024
Follow Us
චීනයේ පිරිසක් සහ කථානායක අතර හමුවක්

චීනයේ හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති ආචාර්ය සුන් දහයි (Dr Sun Dahai) මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායම පසුගියදා (16) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. 

මේ අවස්ථාව සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ඩී. වීරසිංහ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්හු සහභාගී වී සිටියහ.

මෙහි දී කථානායකවරයා සමඟ සුහද සාකච්ජාවක නිරතවෙමින් හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හයිනාන් පළාතෙන් ලබා දිය හැකි සහයෝගයන් පිළිබඳව ද, ඒ වෙනුවෙන් අනුගමය කරන ක්‍රියා පිළිවෙත් පිළිබඳව දැනුවත් කළේය. 

ඒ අනුව එම පළාතේ ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම පිළිබඳව දැනුවත් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි පවා සකස් කර ඇති බව ඒ මහතා පැවසුවේය. 

කොළඹ වරාය නගරය (Colombo port city) තුළ  ආයෝජනය කිරීමට ද එම පළාතේ ව්‍යාපාරිකයින්ට ඇති අවස්ථාවන් පිළිබඳව ද ඒ මහතා සිහිපත් කළේය. 

එමෙන්ම එම පළාත හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙහි දී අදහස් දක්වමින් කථානායකවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු මිත්‍රත්වය සිහිපත් කළේය.

මෙරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දෙන්නාවූ සහයෝගය පිළිබඳව ද කථානායකවරයා හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ නිලධාරීන් වෙත සිය ස්තූතිය පළ කළේය. 

ඒ අනුව චීනය මෙතෙක් ලබාදුන් සියලු සහයෝගයන්ට ස්තුතිය පුද කළ කථානායකවරයා ඉදිරියට ද ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බව පැවසුවේය.