Sunday, September 08, 2024
Follow Us
ස්විට්සර්ලන්ත ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Francois Garraux සිය ධූර කාලය නිමා කර නික්ම යාමට පෙර ඊයේ ( 22) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමු විය.

මෙම හමුවට ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති Olivier Praz මහතා ද සහභාගී වූ අතර, නවතමයෙන් පත් වූ ආරක්‍ෂක උපදේශක Colonel (GS) Daniel Bader ද මෙම හමුවට එක්විය. උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ස්විට්සර්ලන්ත නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. 

නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයා මෙරට දී සිදුකළ සේවය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව ඔහු වෙත පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පැතුම් එක් කළේය.

මේ වන විට ආරම්භ කර ඇති වැඩසටහන් පුළුල්ව කරගෙන යාමේ සහ සිය රාජකාරී සාර්ථකව ඉටු කිරීමේ අභිලාෂය මෙහිදී නව ආරක්‍ෂක උපදේශකවරයා අනාවරණය කළේය

නව භූමිකාවේ සංකීර්ණතා මඟහරවා ගැනීමට ඔහුට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා නව ආරක්‍ෂක උපදේශකවරයා පිළිගත් අතර, දෙරටෙහි පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.