Sunday, September 08, 2024
Follow Us
ජයිකා ( JICA ) ආයතනයේ එකඟතාවක්

පසුගිය කාල පරිච්ඡේදයේ රට තුල ඇති වු ආර්ථික අවපාතය හේතු කොට ගෙන නවතා දැමුණු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සහන ණය යෝජනා ක්‍රමය යළි ලබා දීමට ජයිකා ( JICA ) ආයතනය එකඟතාව පළ කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල  සිල්වා මහතා පැවසීය.

 අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ජයිකා ( JICA ) ආයතනයේ නියෝජිතයින් සමඟ ඊයේ(10) අමාත්‍යංශයේදි පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියෙන් පසු රට තුල යළිත් ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරභාවය හේතුවෙන් ජයිකා ( JICA ) ආයතනය විසින් මෙම සහන ණය වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කර ඇති අතර මෙම කටයුතු සඳහා ජපන් රජයේ ප්‍රමුඛතාව ලබා දෙන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේ.

ඒ අනුව සහන ණය වැඩපිළිවෙළ යටතේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් බිලියන 170ක පමණ මුදලක් ජයිකා ( JICA ) ආයතනය විසින් ලබා දීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

නවීන තාක්ෂණය සහ පහසුකම් සහිතව ඉදිවන මෙම දෙවන පර්යන්තය ඉදිකිරීමෙන් අනතුරුව දැනට වසරකට මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන මිලියන 06 ක් පමණ ගුවන් මඟීන් සංඛ්‍යාව මිලියන 16 ක් දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණය අනුව අදාළ ණය ගිවිසුම් කඩිනමින් අත්සන් කොට ඉදිකිරීම් කටයුතු සඳහා අදාළ ටෙන්ඩර් කැඳවීම් සැප්තැම්බර් මාසය වන විට සිදු කිරීමට පියවර ගන්නා බව ජයිකා නියෝජිතයින් අමාත්‍යවරයාට පැවසීය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර,  ජයිකා ( JICA ) ආයතනය නියෝජනය කරමින් ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා( Yamada Tetsuya) ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති  අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුලු  නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.