Sunday, September 08, 2024
Follow Us
INS ‘KAMORTA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යයි

2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව ඊයේ ( 23) දිවයිනෙන් පිටත්ව ගියේය.

එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම ත්‍රිකුණාමලය වරායේදී සිදු කෙරිණි.

INS ‘KAMORTA’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාවේදී, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Prashant Kumar Mishra සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ අතර නිල හමුවක් 2024 ජුනි මස 20 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

එමෙන්ම, INS ‘KAMORTA’ නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට හා ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීමට සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගී වූ අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුද්ගලයින් හට මෙන්ම පාසල් සිසුන් හටද අවස්ථාව උදා විය.

තවද, INS ‘KAMORTA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.

එමෙන්ම, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.