Sunday, September 08, 2024
Follow Us
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ණය කළමනාකරණ පහසුකම පාර්ශ්වකරුවන්ගේ සංසදය අමතයි

සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි 14 වැනි ණය කළමනාකරණ පහසුකම (DMF) පාර්ශ්වකරුවන්ගේ සංසදය අමතමින් "අර්බුද කළමණාකරණය කිරීමේ දී ණය කළමනාකරණයේ කාර්යභාරය" පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලින් උගත් පාඩම් කෙරෙහි අවධානය යොමු කරමින්, ආර්ථික අභියෝග  තුළ, ණය කළමනාකරණය කිරීමේ දී ගුණාත්මක ආයතනික භාවිතයන් පිළිබඳ වැදගත්කම මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ අත්දැකීම් තුළින් පෙන්නුම් කරනුයේ ඵලදායි ණය කළමනාකරණය යනු සංඛ්‍යා කළමනාකරණය කිරීම පමණක් නොව ශක්තිමත් ආයතන සහ ධාරිතාවයන් ගොඩනැගීම බව ඔහුගේ අදහසයි.

මෙවන් තත්ත්වයන්වල දී විනිවිද පෙනෙන, වගවීම සහිත පාලනයේ වැදගත්කම සහ අර්බුදකාරී අවස්ථාවන්හි දී ජාත්‍යන්තර සහයෝගය සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ ඒකාබද්ධ රාජ්‍ය ණය කළමනාකරණ පනතක් කෙටුම්පත් කිරීම, නෛතික රාමුවේ ශක්තිමත්භාවය සහතික කිරීම සහ මධ්‍යගත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම මගින් ශ්‍රී ලංකාව රාජ්‍ය ණය කළමනාකරණයේ අභියෝග ජයගැනීමට ප්‍රමුඛත්වය ලබා දීම සහ අර්බුද මඟහරවා ගැනීමේ දී ණය කළමනාකරණයේ කාර්යභාරය තීරණාත්මක බවයි. 

තව ද, ධාරිතා වර්ධනය සඳහා අවධානය යොමු කිරීමත්, ගුණාත්මක භාවිතයන් පිළිපැදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් උපාය මාර්ගිකව කළමනාකරණය කිරීමෙන්, ආර්ථික අභියෝගවලට හොඳින් ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා මග පෑදිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.