Saturday, July 27, 2024
Follow Us
ජනපතිට ඉන්දියාවේ දී උණුසුම් පිළිගැනීමක්

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළඟා විය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් අතර ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද (09) පස්වරුවේ පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර එම ජය තහවුරු කර ගැනීමෙන් පසුව නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.

මෙම ඉන්දීය සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටිති.