Sunday, May 19, 2024
Follow Us
 "Health on Wheels" ට්‍රක් රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානය කෙරේ

සෞඛ්‍ය සේවා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපාන රජය එක්ව ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අවදානම් සහිත ප්‍රජාවන්ට බාධාවකින් තොරව මාතෘ සහ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය (sexual and reproductive health (SRH) සේවා සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට "Health on Wheels" ට්‍රක් රථ තුනක් නිල වශයෙන් භාරදීම ද සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී පසුගියදා සිදු කෙරිණි.

ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.  ඇමරිකානු ‌ඩොලර් 380,000 ක වටිනාකමකින් යුත් මෙම "Health on Wheels" ට්‍රක් රථ 03 සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ශ්‍රී ලංකාවේ ජපාන තානාපති  මිසුකොෂි හිදෙඅකි මහතා විසින් නිල වශයෙන් බාරදෙන ලදි. 

මෙම ට්‍රක් රථ ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සෞඛ්‍ය සේවා ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් ලෙස එම පළාත්වල පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත මෙහිදී ලබාදීමට කටයුතු කෙරිණි.

"Health on Wheels" යනු අත්‍යවශ්‍ය මාතෘ, අලුත උපන් සහ නාරිවේද සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති ජංගම සෞඛ්‍ය ඒකකයකින් යුතු රථයකි. 

විශේෂයෙන් ආපදා හෝ හදිසි අවස්ථාවලදී අවදානමට ලක්වන කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට මෙන්ම සේවා සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති දුරස්ථ භූගෝලීය ස්ථානවලට මෙම "Health on Wheels" ට්‍රක් රථ යොදවනු ලැබේ. මෙම ට්‍රක් රථ යෙදවීම හරහා කාන්තාවන්, තරුණයින් සහ ආබාධ සහිත පුද්ගලයින්ට ජීවිතාරක්ෂක (සේවාවන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන, සියලුම භූමි වාහන සහ අංග සම්පූර්ණ වෛද්‍ය මැදිරියකින් සමන්විත මෙම ට්‍රක් රථ, ළඟා වීමට අපහසු ප්‍රදේශවලට බාධාවකින් තොරව සේවා සැපයීම සහතික කරයි. මීට අමතරව, මෙම ජංගම සායන මගින් සෞඛ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට සහ හුදකලා ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට දායක වනු ඇත. 

මෙම "Health on Wheels" ට්‍රක් රථවල විශේෂාංග ලෙස නාරිවේද පරීක්ෂණ ඇඳ, කළල ඩොප්ලර් සහ නැවත පණ ගැන්වීමේ උපකරණ ඇතුළුව වෛද්‍ය මැදිරිය, ස්වාධීන මෙහෙයුම් සඳහා සූර්ය බලයෙන් ධාවනය වන වාහනය, ආබාධිත හිතකාමී නිර්මාණය, සියලු කාලගුණ සේවා සඳහා ආපසු ඇද ගත හැකි වියන, සනීපාරක්ෂාව නඩත්තු කිරීම සඳහා කාර්යාලීය ගෘහභාණ්ඩ සහ නාන කුටි, අඛණ්ඩ බල සැපයුම සඳහා උත්පාදක යන්ත්‍රය, ජල පිරිපහදු පද්ධතිය, ආරක්ෂාව සඳහා ගිනි නිවන යන්ත්‍රයකින් ද යුක්තය.