Sunday, April 20, 2025
Follow Us
චීන - ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තැබේ

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (26) චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අග්‍රාමාත්‍යවරයා තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේ දී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වූ අතර චීන හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා ආරම්භ කෙරිණි.  

අනතුරුව බීජින් නුවර ග්‍රේට්හෝල්හී දී පැවති ද්විපාර්ශවීක සාකච්ඡාවල දී ආර්ථික,  සහයෝගිතාවයට අමතරව  සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ත සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු කරනු ලැබීය.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් තුළින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහි දී සනාථ කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම් වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තැබූහ.

චීන මහජන සමූහාණ්ඩුවේ අමාත්‍යවරුන්, මෙරට රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.