Sunday, April 28, 2024
Follow Us
ඉන්දීය පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා හමු වෙයි

ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත පිරිසක් අද (11) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එම අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

ඉන්දියානු නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමය, දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම අවස්ථාව සංවිධාන කර ඇති අතර දූත පිරිස දින තුනක් මෙරට රැඳී සිටියි.

මෙරට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය, දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආයෝජන අවස්ථා, නීතිමය රාමුව, අක් වෙරළ බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය, හරිත හයිඩ්‍රජන් මාර්ග සිතියම හා ඉන්දු ලංකා විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී දූත පිරිස දැනුවත් කර සාකච්ඡා කරනු ලැබුණි.

ACME, රිනිව්, අදානි හරිත බලශක්ති , PTC ඉන්දියා, ජැක්සන් සමාගම, වෙල්ස්පන් නිව් එනර්ජි, ස්ටලයිට් පවර්, ශක්ති පම්ප්ස් ලිමිටඩ්, සුල්සෝන් වැනි ආයතනවල නියෝජිතයන් සමග ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලයේ නියෝජිතයන් සහභාගී විය.