Monday, April 29, 2024
Follow Us
මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන විශේෂ පැසසුමට

එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සංධානයේ (Global alliance  of vaccines and immunization -GAVI) මධ්‍යම ආදායම්ලාභී රටවල්වල අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇඩ්රියානා ජිමෙන්ස් කුළුන් (Addriana Jimenez Cuen), මධ්‍යම ආදායම්ලාභී රටවල් වල ජ්‍යෙෂ්ඨ කළමණාකරු  ලෙස කටයුතු කරන සොෆී ලා වින්සෙන්ට්  Sophie La Vincent යන මහත්මියන් අද (06) පස්වරුවේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවිය.

දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි සංධාන නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යතුමා සමඟ විශේෂ පිළිසදරකද යෙදුණි.

එහිදී, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන ඉතා කාර්යක්ෂමව, විදිමත් ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යාම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත එම නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර සිටියේය.

2003 වසරේ සිට ශ්‍රී  ලංකාවේ ළමුන්හට උපතේ සිට ලබා දෙන එන්නත්කරණ  වැඩසටහන සදහා නොමිලේ එන්නත් ලබාදීමට තම සංවිධානය කටයුතු කිරීම මෙන්ම, 2008 වසරේ සිට ශ්‍රී ලංකාව සඳහා අදාළ එ‍න්නත් සහනදායී මිළකට ලබාදීමට එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සංධානයේ  මැදිහත් වීම පිළිබදවද නියෝජිතයින් මෙහිදී අමාත්‍යවරයාව දැනුවත් කළේය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සංධානය ලබා දෙන දායකත්වය ඉතා අගය කොට සලකන බවත්, එන්නත් මගින් වළක්වනු ලබන රෝග බොහෝමයක් ශ්‍රී  ලංකාව තුළ මැඩපවත්වා ගැනීමට හෝ ඉතාම අවම තත්වයේ තබා ගැනීමට එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සංධානය ලබා දෙන ආධාර ඉවහල් වන බවය.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව නිසි අයුරින් පවත්වා ගෙන යාමට මෙම සංධානය ලබා දෙන දායකත්වය විශේෂ ඇගයීමකට ලක් කල අමාත්‍යවරයා මෙරටට ඇවැසි සෑම විටකම ඊට අවශ්‍ය සහය අපේක්ෂා කරන බවද කීවේය.

මෙරට ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමුඛ සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ට මට්ටමකින් පවත්වාගෙන යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස නම් කර තිබෙන බවත් නියෝජිතයින් හමුවේ අමාත්‍යවරයා පැවසීය.

 එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සංධානය මගින් වළක්වා ගත හැකි රෝග සඳහා ලබා දෙන එනන්ත් ලෝකයේ සියලුම රටවල්වලට සාධාරණීය ලෙස සපයා ගැනීමට අවකාශ ලබා දෙන අතර එම සන්ධානයේ නියෝජිතයින් මෙරට සිදු කරන දෙදින සංචාරයේ ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවයන් ශක්තිමත් කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ එන්නත් ලබා ගැනීම, ගබඩා කිරීම හා ශීතදාමය ආරක්ෂ කිරීම  පිළිබදව නිරීක්ෂණය කිරීම වැනි කරුණූ කෙරෙහි වැඩි අවදානයකින් කටයුතු කරණු ඇති.