Monday, April 29, 2024
Follow Us
ආරක්‍ෂක රාජ්‍ය ඇමැති මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (05) මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මොහොමඩ් ගසාන් මෞමූන් මහතා එරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම හමුවේ දී මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සිය ස්තුතිය පුද කළේය. 

තව ද, මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායට ලබාදුන් අඛණ්ඩ පුහුණු සහාය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවේ රජයට සහ ත්‍රිවිධ හමුදාවට සිය කෘතඥතාවය පුද කළේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සහයෝගීතාවයේ සහ වැදගත්කම තවදුරටත් අවධාරණය කළ අමාත්‍ය ගසාන් කලාපීය සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙරට අතර, සහයෝගී ප්‍රයත්නයන් තුලින් ඉටු කෙරෙන අතිශය වැදගත් මෙන්ම තීරණාත්මක කාර්යභාරය ද මෙම හමුවේ දී ඉස්මතු කළේය.

මාලදිවයිනේ සංචාරයක් සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය තෙන්නකෝන් මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පුද කළේය. 

අඛණ්ඩ පුහුණුව සහ හමුදාමය සහාය සම්බන්ධයෙන් මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකාය වෙත තවදුරටත් සහාය ලබාදෙන බවට මෙහිදී ඔහු සහතික විය.

තව ද, මාලදිවයින සමඟ සම්බන්ධ පුහුණු අවස්ථා වැඩි කිරීමට සහ මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවශ්‍ය නිශ්චිත උපදෙස් ලබා දී ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

දේශගුණික විපර්යාස සහ පාරිසරික ආරක්‍ෂාව, අන්තවාදය, නීති විරෝධී ජාවාරම්, ආපදා සහ මානුෂීය අර්බුද වැනි පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් අවධාරණය කළ අතර, යුක්රේනය සහ රුසියාව අතර, මෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැනට පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්දීය සාගර කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

ආරක්‍ෂක සහයෝගීතාව, ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම, පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාවය සඳහා නව මාවත් හඳුනාගැනීම, කලාපීය සාමය ප්‍රවර්ධනය, ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා එක්ව කටයුතු කිරීම වෙනුවෙන් වූ සිය කැපවීම මෙම හමුවේ දී අමාත්‍යවරු දෙදෙනාම යළිත් තහවුරු කළහ.