Sunday, April 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ජයිකා නියෝජිත හා සෞඛ්‍ය ලේකම් අතර විශේෂ හමුවක්

ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය  (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා  යමඩා (Mr. Tetsuya   Yamada) මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (26) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.

මෙහිදී ටෙට්සුයා යමඩා මහතා විසින් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ  සේවාවන් වැඩිදියුණු කිරීම  ,  ජයිකා ව්‍යාපෘතියෙන්  ක්‍රියාත්මක  ව්‍යාපෘති පිළිබඳවත්,  දැනට ක්‍රියාත්මක වන සංවර්ධන, ආධාර වැඩසටහන්  පිළිබඳවත් සෞඛ්‍ය  ලේකම්වරයාව දැනුවත් කළේය.

එමෙන්ම එම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන “ආසාදිත අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” මගින් රෝහල් 15 කට ප්‍රතිලාභ හිමිවීම පිළිබඳවත්, “පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිය” මගින් මෙරට ප්‍රධාන රෝහල් 3 ක් සංවර්ධන කිරීමට පියවර ගැනීම හා “ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍රකරගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම” යන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදවත් ඒ  මහතා මෙහිදී  දීර්ඝ ලෙස සෞඛ්‍ය ලේකම්වරයා  දැනුවත් කිරීමට පියවර ගත්තේය

වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක්  සපුරන ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ මිතුදම පිළිබඳව ද, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා ජයිකා ව්‍යාපෘතියෙන් සිදු කළ සේවාවන් ද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී සිහිපත් කළේය.

මෙරට ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවාවන් විධිමත් ලෙස පවත්වා‌ගෙන යාම සඳහා ජපාන රජය, ජයිකා ව්‍යාපෘතිය ලබා දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය හා  සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ස්තුතිය පළ කරන බවත්, ඉදිරියටත් එම සහය අපේක්ෂා කරන බව ද, යෙන් බිලියන 5 ක මුල්‍ය පරිත්‍යාගයකින් මෙරට සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඉන්ධන පරිත්‍යාගයක් සිදු කිරීම පිළිබඳවත් ජපන් රජයට මෙන්ම ජනතාවටද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී විශේෂ ස්තුතියක් ද පළ කළේය.