Monday, April 29, 2024
Follow Us
ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට රුමේනියා ශ්‍රී ලංකා සහයෝගීතාවයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ (Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

රුමේනියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක වැනි නව ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම සාකච්ඡාවලදී එකඟත්වයක් ඇතිවිය. දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාවයට මෙන්ම නව ක්ෂේත්‍රවල ආයෝජනවලට එළඹීමට ගත යුතු පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ රුමේනියානු තානාපතිවරිය අතර විස්තරාත්මක සාකච්ඡා පැවැත්විණි. අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව පිළිබඳ සලකා බලන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියේය.

පසුගිය වසරේ ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 127 දක්වා සිවුගුණයකින් වර්ධනය වීම පිළිබඳව සතුට පළ කළ තානාපතිවරිය, වෙළෙඳ ක්‍රියාවලිය තව තවත් කඩිනම් කිරීම සඳහා ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සඳහා තම රට ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරන බව පැවසීය. නව කෙටුම්පත සඳහා දෙපාර්ශ්වයේම අනුමැතිය ලැබීමෙන් පසු අධ්‍යාපනය, සංස්කෘතිය, ක්‍රීඩා සහ මාධ්‍ය සහයෝගිතාව පිළිබඳ තවත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ හැකි බවද ඇය පැවසුවාය.

රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන් 40,000ක් පමණ සේවය කරන අතර ඔවුන් ආර්ථිකයට දක්වන දායකත්වය ඉතා අගය කළ යුතු බවත්, ඔවුන් ද තම ප්‍රේෂණවලින් ශ්‍රී ලංකාවට දායක වන බවත්, රුමේනියානු තානාපතිවරිය සඳහන් කළාය. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියා රජයට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළේය.

පසුගිය කාලයේ රුමේනියාව ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා 1960 ගණන්වල විදේශ සමාගම් ජනසතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයු‍මෙහි අවහිරයක් ඇති වූ විට රුමේනියානු තෙල් සැපයීම සහ දුම්රිය මැදිරි, රේල් පීලි සැපයීම පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළේය.

අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.