Thursday, May 02, 2024
Follow Us
එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම  සංවිධානය  මෙරට තේ සහ රබර් පර්යේෂණායතනවල නිරීක්ෂණයක 

37 වන ආසියා පැසිෆික් කලාපිය සමුලුවට සහභාගි  විමට පසුගියදා (18)  දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම  සංවිධානයේ අධ්‍යක්ෂ  ජනරාල් Dr. Qu Donguyi මහතා ඇතුලු පිරිස  ඇල්පිටිය අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හා අගලවත්ත රබර් පර්‍යේෂණායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  මහතා ද එක්විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් UNFAO අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිණි.

මෙම පිරිස පළමුව අතුකෝරළ වතු සමාගමේ තේ නිෂ්පාදන නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකාවේ තේවල ඇති ඉමහත් රසය හා ගුණාත්මකභාවය සම්බන්ධව තම සතුට පළ කළේය.

ශ්‍රී ලංකාවේ වී හා අනෙකුත් භෝගවලට මෙන්ම තේ, රබර් හා පොල් වැනි වැවිලි භෝග සඳහාත් ඉදිරියේදී ආධාර ලබා දීම කෙරෙහි අධ්‍යක්ෂ  ජනරාල්වරයාගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කළේය. 

සාම්ප්‍රදායික ලෙස දැනට සිදු කෙරෙන රබර් කිරි කැපීම සඳහා හඳුන්වා දීමට නියමිත රොබොටික් යන්ත්‍රය යොදාගනිමින් රබර් කිරි කැපීම ද මෙහිදී ප්‍රදර්ශනය කළේය. දැනට මෙම කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා පවතින ශ්‍රම හිඟයට පිළියම් වශයෙන් මෙවැනි යාන්ත්‍රික ක්‍රම අත්හදා බලන බව අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැහැදිලි කළේය.

එමෙන්ම තේ, පොල් හා රබර් වගාව නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධව පැමිණ සිටි පිරිස විමසනු ලැබීය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තේ, පොල් සහ රබර් වගාවන් සඳහා ද සහන මිලක් යටතේ පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බව පැවසීය . රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් නිෂ්පාදනය කරනු ලබන පොහොර එසේ ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.

කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ තේ වගාව සම්බන්ධව ඉතා ඉහළ උනන්දුවක් පළකළ අධ්‍යක්ෂ  ජනරාල්වරයා ශ්‍රී ලංකා තේ වර්ග රැසක් මෙන්ම කිතුල් හකුරු ද ඉතා ඉහළින් අගය කළේය.