Thursday, May 02, 2024
Follow Us
අගමැති  එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහය ඉල්ලයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු මහතා (Dr.Qu Dongyu ) අතර හමුවක් ඊයේ (19) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

වසර ගණනාවක් පුරා කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ලබාදුන් සහය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ සැලසුම් සඳහා තවදුරටත් සහාය ලබා දෙන ලෙස ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් ( FAO )  ඉල්ලා සිටියේය. ග්‍රාමීය ගොවිතැනට බලශක්ති උත්පාදනය උදෙසා සූර්ය පැනල සහිත ජල පොම්ප සවි කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළේය.

ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ( FAO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව FAO විසින් සලකා බලන බවයි. ආචාර්ය කියු ඩොන්ගු මහතා ( Dr.Qu Dongyu) ශ්‍රී ලංකාවේ දේශගුණික තිරසරභාවය අගය කළ අතර, ″මෙම දූපත ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම ජල බිංදුව” ලෙස හැඳින්විය හැකි බව පැවසීය. මෑත යුගයේදී සිදු වූ පෙර නොවූ විරූ අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඔහු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට යළිත් පත්වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,  මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධිර, ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂක ඇතුළු  ජ්‍යෙෂ්ඨ   නිලධාරීන්  වන ගොඩ්ෆ්‍රි මැග්වෙන්සි, බෙත් ක්‍රෝෆර්ඩ්, විමලේන්ද්‍ර ෂරන්, මැක්සිමෝ ටොරේරෝ සහ ඇන්ජලිකා ජාකෝම් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.