Thursday, May 02, 2024
Follow Us
ශ්‍රී ලංකාව ලෝක ආර්ථික වර්ධනයේ  ආකර්ෂණීය  මධ්‍යස්ථානයක්

ජයිකා  (JICA)  ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඊයේ (14)   අරලියගහ මන්දිරයේ දී  පැවැති විශේෂ  හමුවේදීය.

උග්‍ර ආර්ථික අර්බුදයකින් පසු ඉක්මන් ප්‍රකෘතිමත් වීම පිළිබඳව ජයිකා සභාපතිවරයා ලංකා රජයට ප්‍රශංසා කළ අතර රට දැන් ශීඝ්‍ර වර්ධනයක් කරා යමින් සිටින බව ද පැවසීය. "ගෝලීය වර්ධනය ආසියා ශාන්තිකර කලාපයට මාරු වී ඇති අතර මෙහි දී ශ්‍රී ලංකාව ලෝක ආර්ථික වර්ධනයේ  ආකර්ෂණීය  මධ්‍යස්ථානයක්" යැයි පැවසූ ඔහු ජයිකා ආයතනය මෙම ක්‍රියාවලියේ හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බව ද අවධාරණය කළේය.

1968 වසරේ (JICA) ජයිකා ශ්‍රී ලංකා ආධාර සංගමයේ සාමාජිකත්වය ලබා ගත් දා සිට දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආචාර්ය අකිහිතෝ මහතාට ස්තූතිය පළ කළේය. ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණයේ ගොවීන් සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා නව ව්‍යාපෘති පිළිබඳ සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා ජයිකා ආයතනයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ රෝහල්වල සූර්ය බලශක්ති ඒකක පිහිටුවීම ඇතුළත් නව පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සඳහා JICA ප්‍රදානයක් ලබා දෙන බව ආචාර්ය අකිහිතෝ පැවසීය. ජයිකා ආයතනය විසින් අනුරාධපුරයේ ආරක්ෂිත ජල සම්පාදන ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් එහි සමාරම්භක උත්සවයට  පුරාණ අගනුවරදී සහභාගි වන බවත් සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, අපිරිසිදු ජලය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වූ දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙමගින් ඉමහත් සහනයක් සැලසෙන බව ප්‍රකාශ කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය   අවධාරණය කරන්නේ රටට වැඩි සංචාරක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව වැදගත් ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට එය උපකාරී වන බැවිනි. ජයිකා ආයතනය රට පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සේවා පුළුල් කිරීම, මානව සම්පත් සහ ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීම, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස යන අංශ ඊට ඇතුළත් වේ.

ඉදිරි ආධාර වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා සංවර්ධන අවශ්‍යතා සොයා බැලීම සඳහා ජයිකා ආයතනයේ සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. කෘෂිකාර්මික හා ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම, ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධ සමාජ සේවා පුළුල් කිරීම සඳහා සහාය සැපයීමට ජයිකා ආයතනය අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ව්‍යාපෘති සඳහා සහාය ලබාදීමට සහතික වන බවත් ජයිකා සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.