Saturday, May 04, 2024
Follow Us
ඉරානය සතු  නවීන  විද්‍යාත්මක සහ  තාක්ෂණික දැනුම   ශ්‍රී ලංකාවට

වර්තමානයේ ඉරානය තාක්ෂණික සහ විද්‍යාත්මක වශයෙන්  විශාල ප්‍රගතියක් ළඟා කර ගෙන සිටින බවත් එම  තාක්ෂණික හා විද්‍යාත්මක  දැනුම  ශ්‍රී ලංකාව සමඟ  බෙදා හදා  ගැනීමට  අපේක්ෂා කරන බවත්  ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති  ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ්   මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉරානයේ  45 වන    ජාතික  නිදහස් දිනය වෙනුවෙන්  ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ්   මහතාගේ  කොළඹ  පිහිටි  නිල මැදුරේ  දී   සංවිධානය කර තිබූ  නිදහස් දින උත්සවයේදීය.

ඉරාන   නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා  ලෙස සහභාගි වූයේ  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

මෙහිදී අදහස් දක්වමින්  අලිරේසා ඩෙල්කොෂ් මහතා කියා සිටියේ  ඉරාන විදේශ ප්‍රතිපත්තිය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වා ගෙන යන බවයි. රාජ්‍යන් අතර ආර්ථික සහයෝගිතාවය සහ  කලාපයේ මෙන්ම ජාත්‍යන්තර  ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහාය වීම  යන අංශ දෙක ඊට  ඇතුළත් වේ.

එමෙන්ම ත්‍රස්තවාදයට සහ  මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව කටයුතු කිරීම ඉරාන රජයේ විදේශ ප්‍රතිපත්තියේ  ප්‍රධාන අරමුණු අතරට ඇතුළත් වේ.

එදා මෙන්ම වර්තමානයේත් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර  මනා සම්බන්ධතාවක් ගොඩ  නැඟී  තිබේ.

එය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට දෙරට  මනා අවබෝධයකින් කටයුතු කිරීම  ඉතා  වැදගත් ‍ය. 

ඉරාන නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ඉරානය සහ  ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම  පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය  සහ  මිත්‍රත්වය  ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය, සහ  සංස්කෘතික   සංවර්ධනය ට බෙහෙවින් ඉවහල් වී ඇතිබවයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රාහිම් රයිසි මහතා අතර පවතින අන්නෝන්‍ය සුහදශීලීත්වය හා නොබිඳෙන මිත්‍රත්වය දෙරටේම සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන්   බොහෝ ජයග්‍රහණයන් ළඟා කර ගැනීමට ඉවහල් වූ බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  මෙහිදී සඳහන්  කළා  ය.

ඉරානය    ශ්‍රී ලංකාවේ තේ සහ  කුළුබඩු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ  තවදුරටත් ප්‍රමුඛයාය.  එමෙන්ම  ශ්‍රී ලංකාව සහ ඉරානය අතර  වෙළඳ  වානිජ කටයුතු ප්‍රවර්ධනය  සඳහා දෙරට  විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා  අවබෝධාත්මක ලෙස කටයුතු කිරීම  සිහිපත් කළ යුතුය.

 ඉකුත් වසරේ    ශ්‍රී ලංකාව මුහුණ දී සිටි දැඩි  ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ  ණය  ප්‍රතිව්‍යුහගත කිරීමට    ඉරාන රජය   කටයුතු  කිරීම සම්බන්ධයෙන්  ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  අමාත්‍යවරිය  සිය  ප්‍රසාදය පළකළා  ය.

"උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය " ඇතුළු ඉරාන රජයේ  ආධාර මුදල් යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන්  සිහිපත් කළ අමාත්‍යවරිය කෝවිඩ් 19  වෛරස වසන්ගතය සමයේ  වුව ද එම  ව්‍යාපෘතියේ ඉදිකිරීම්  අඛණ්ඩව  පවත්වා ගෙන යාමට මූල්‍ය සහ  තාක්ෂණික වශයෙන්   ඉරාන රජය ලබා දුන් සහාය  ඉමහත් ගෞරවයෙන් සිහිපත් කළා  ය.