Saturday, May 04, 2024
Follow Us
හංගේරියානු ජනාධිපති ඉල්ලා අස්වෙයි

හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස්වීම සෙනසුරාදා නිවේදනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

“මම වැරැද්දක් කළා … අද මම ඔබට ජනාධිපතිවරයෙකු ලෙස ආමන්ත්‍රණය කරන අවසාන දිනයයි,”යනුවෙන් නොවැක්, සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් පවසා තිබුණි.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව හංගේරියානු ජනාධිපතිවරිය ප්‍රකාශ කර ඇත.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහිව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ සමාව ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් පැවසුවේ ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ, අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිටි බවයි.

-Dinamiana