Saturday, May 04, 2024
Follow Us
මාලදිවයින් ආරක්‍ෂක ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාලදිවයින් ආරක්‍ෂක ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් ඊයේ (8) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

සාකච්ජාව අතරතුරදී ලුතිනන් ජෙනරල් ලතීෆ්, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක සහයෝගීතාවය පුළුල් කරමින් වඩාත් සමීප සබඳතාවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. ද්විපාර්ශ්වික වශයෙන් වැදගත්වන ඒකාබද්ධ හමුදා පුහුණුවීම්, උපායමාර්ගික හවුල්කාරිත්වය සහ දෙරට අතර සිදුකෙරෙන ආරක්‍ෂක මුලපිරීම් ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම යන කරුණු කෙරෙහි මෙහිදී මුලික වශයෙන් සාකච්ජා කරනු ලැබීය.


මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පවතින සහස ම්බන්ධතාවය පැසසුමට ලක් කළ අතර, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා වන දෙරටේ සහයෝගීතාවය පිළිබඳව අවධාරණය කළේය. දෙරටේ ආරක්‍ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ කලාපිය සාමය ප්‍රවර්ධනය සඳහා තිරසාර සංවාද සහ පුහුණු හුවමාරු වැඩසටහන්වල වැදගත්කම ද දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

ලුතිනන් ජෙනරල් ලතීෆ්, ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර, මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා විසින් පසුගියදා ඔහු එරට ආරක්‍ෂක සේවා ප්‍රධානි තනතුරට පත් කරනු ලැබිය.
මෙම සාකච්ජාව අවසානයේ දෙරටේ ආරක්‍ෂක අංශ අතර පවතින ශක්තිමත් සහ චිරස්ථායි සුහදතාවය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු අතර, මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගී විය.