Saturday, May 04, 2024
Follow Us
මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ජර්මානු රජයේ සහයෝගය

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය Felix Neumann මහතා අතර හමුවක් අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේදි මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය සහ ජර්මන් රජයේ ආධාර යටතේ ගාල්ල, කරාපිටියේ ඉදි කෙරෙන සය මහල් නව මාතෘ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙහිදී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කරාපිටියේ ඉදිකොට තිබෙන මාතෘ රෝහල පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ 2004 දෙසැම්බර් මස 26 දින මෙරටට බලපෑ සුනාමියෙන් හානියට පත් වූ මහමෝදර මාතෘ රෝහල කරාපිටියේ නව රෝහලක් ලෙස ඉදිකිරිමට එවකට ජර්මනියේ චාන්සලර්වරයාව සිටි ආචාර්ය හෙල්මට්කෝල් මහතා තීරණය කර ඇති බවත්, හෙල්මට්කෝල් පදනම විසින් පිරිනැමුණු ප්‍රදානයන් මගින් රජය විසින් ලබාදුන් ඉඩමක පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස මෙහි ඉදිකිරිම 2005 වසරේදී ආරම්භ කර ඇති බවයි.
2008 වසරේ දී මෙම ව්‍යාපෘතිය ඇනහිට ඇති බවත්, නැවත 2012 වසරේදී මෙම රෝහලේ ඉදිකිරිම් ආරම්භ කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

මේ වන විට ඉදිකිරිම් කටයුතු අවසන්ව තිබෙන මෙම මාතෘ රෝහල නවීන පහසුකම්වලින් යුතුව දකුණු පළාතේ ඉදිකෙරන විශාලතම මාතෘ රෝහල වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී ජර්මානු ශ්‍රි ලංකා මිත්‍රත්ත්ව රෝහලක් ලෙස රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා මෙම රෝහල යොදා ගැනීම සඳහා අවසන් අදියරේ කටයුතු මේ වන විට සිදු වන බව ද පැවසීය. . මෙරට සෞඛ්‍ය සේවාව සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ජර්මානු‍ ජනතාවට සහ රජයට සිය ස්තූතිය පුද කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය Felix Neumann මහතා වෙත මාතෘ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳ සකස්කළ ව්‍යාපෘති වාර්තාවක් පරිගණකය ආශ්‍රයෙන් නිරීක්ෂණයට අවස්ථාව ලබාදීම ද මෙදින සිදු කෙරිණි. මෙහිදී ලංකාවේ ජර්මානු තානාපතිවරයා මෙරට සේවාවේ උන්නතිය වෙනුවෙන් ජර්මානු රජය ඉදිරියටත් සහයෝගය ලබාදීමට කටයුතු සිදු කරන බව පැවැසීය.