Saturday, May 04, 2024
Follow Us
ජාත්‍යන්තර ගීතා මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේදී 

2024 ජාත්‍යන්තර ගීතා සංස්කෘතික මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ හර්යානා රජයේ නියෝජිතයන් හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් අමාත්‍යංශ පරිශ්‍රයේ සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඒ අනුව ලබන මාර්තු මස 01,02 සහ 03 දිනයන් තුළ ජාත්‍යන්තර ගීතා මහෝත්සවය කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වීමට දෙපාර්ශවය විසින් එහිදී තීරණය කෙරිණි.

එහිදී ගීතා පිළිබඳ ප්‍රදර්ශනය , ගීතා පිළිබඳ සම්මන්ත්‍රණය ,හින්දු සහ සමාජ සංවිධාන සහ පාසල්වල සහාය ඇතිව ගීතා ශෝභා යාත්‍රාව සංස්කෘතික වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ශ්‍රී භගවත් ගීතාව භාරදීම පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.

එමෙන්ම මහෝත්සව භූමියේ පාසල් සිසුන් සඳහා විවිධ ක්‍රියාකාරකම් තරඟ සංවිධානය කර ඇති අතර එම තරඟ අතර clay modeling , painting ,ragoli,esay uniting, shaloka recital ආදී අංග ඇතුළත් කර තිබේ.

ඉන්දීය හා ශ්‍රී ලාංකීක විවිධ ප්‍රාදේශීය ආහාර , දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ නිර්මාණය යන ආදිය ඇතුළත් ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් මෙහිදී පැවැත්වීමට නියමිතය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති ජාත්‍යන්තර ගීතා මහෝත්සවයේ විදේශ සහකරු ලෙස ශ්‍රී ලංකාව පත් විය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහා භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ජේ.පී නඩ්ඩා මහතා සමඟ පසුගිය දෙසැම්බර් මසයේ දී බ්‍රහ්ම සරෝවර්හි පැවති සාකච්ඡාවකින් අනතුරුව මීළඟ ගීතා මහෝත්සවය මෙරට දී පැවැත්වීමට අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකාවට පෙර මෙම ගීතා මහෝත්සවය සංවිධානය කර තිබුණේ මොරිෂස්, ලන්ඩන්, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලය.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අනුකරන් දත්තා, හර්යානා රජයේ නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් IAS, ප්‍රධාන විධායක නිලධාරී අඛිල් පිලානි,කුරුක්ෂේත්‍ර සංවර්ධන කමිටුවේ ලේකම් උපේන්ද්‍ර සිං,සංවර්ධන අධීක්ෂණ කමිටුවේ සභාපති මදන් මෝහන් චබ්රා, සම්බන්ධීකාරක රාකේෂ් කුමාර් , අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි,මෙරට සම්බන්ධීකාරකවරු වන අරුණ සාලිය තෙන්නකෝන්,ඇතිල කොතලාවල යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.