Monday, April 21, 2025
Follow Us
ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී පාසල් සිසුවියෝ 12ක් මරුට

ජීවිත ආරක්ෂක කබා නොදුන්නාට මවුපියන්ගෙන් චෝදනා

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බරෝඩරා නුවර හරිනි නමැති වැවේ සවාරියක් ගිය බෝට්ටුවක් පෙරලී යෑමෙන් පාසල් සිසුවියන් 12ක් සහ ගුරුවරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්වරුවේ මේ අනතුර සිදු වීමෙන් පසු බෝට්ටුවේ ගමන් කළ තවත් සිසුවියන් 18 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.

ප්‍රමාණය ඉක්මවා සිසුවියන් රැගෙන යෑම බෝට්ටුව පෙරලීමට හේතු වී ඇතැයි ද, ඒ වන විට බෝට්ටුව තුළ ජීවිතාරක්ෂක කබා නොතිබීම හේතුවෙන් මරණ ගණන ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. අනතුර සම්බන්ධව සැක පිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ. ඔවුන් බෝට්ටුවේ හිමිකරුවන් සහ හරිනි වැවේ සවාරි සංවිධාන කරන පුද්ගලයන් බව ද පැවැසේ.

බෝට්ටුව තුළ ජීවිතාරක්ෂක කබා නොතිබීම සම්බන්ධව අනතුරට ලක් වූ සිසුවියන්ගේ මාපියන් චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ. වසර 1993 අගෝස්තුවේ හරිනි වැවේ දී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඉන් පසුව සිදුවූ දරුණුතම ඛේදවාචකය මෙය බව ද එරට මාධ්‍ය සඳහන් කළේය.