Sunday, May 12, 2024
Follow Us
ජනපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා අතර හමුවක්

ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් ඊයේ (22) පෙරවරුවේ ටෝකියෝ නුවරදී පැවැත්විණි.

ජපාන නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගිවීමට ලද ආරාධනය පරිදි ජනාධිපතිවරයා ටෝකියෝ නුවරට ගොස් සිටින අතර ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා, ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති කෙනචි සුගනුමා මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පැමිණ ජනාධිපති හමුවී සාකච්ඡාවක නිරත විය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින නොබිඳෙන සහ සමීප සබඳතාව පිළිබඳව මෙහිදී කරුණු සිහිපත් කෙරුණු අතර දෙරට අතර මිතුදම ශක්තිමක් කර ගැනීමට සහ සබඳතා ඉහළ නංවා ගැනීමට ජනාධිපති සිය ධූර කාලයේදී ඉටුකරන ලද මෙහෙවර ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් විය.

ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගත්ත ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් රටට අවශ්‍ය බව ද හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා රටේ සමාජයීය දියුණුව වෙනුවෙන් ගෙන ගිය නව වැඩසටහන් අගය කළ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය පාස්කු ඛේදවාචකයෙන් පසු රටේ මතු වූ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගත් පියවර ද අගය කළේය.

ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ලැබුව ද ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැඩසටහන් සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරන බවයි.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

තම ධූර කාලයේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථික අභිලාෂයන් ඉටුකර ගැනීමට ජපාන රජය තමා වෙත ලබාදුන් විශේෂ සහයෝගයට ද ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.

(Dinamina)