Saturday, July 27, 2024
Follow Us
කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති සහ කතානායකවරයා අතර හමුවක්

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති  පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියහ.

මෙහි දී අදහස් දැක්වූ ගරු පාර්ක් හියොන්-ජූන් මහතා, World EXPO 2030 ප්‍රදර්ශනය සඳහා කොරියාවේ අපේක්ෂකත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වීම සඳහා වන සූදානම පිළිබඳවත් කතානායකවරයා දැනුවත් කළේය.

මේ ඔස්සේ ආසියානු කලාපයට විශාල ප්‍රතිලාභ රැසක් ලැබනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවට එක්වූ දූත පිරිස කතානායකවරයාගේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම ද නැරඹීමට එක්වූ අතර, අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමඟ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.