Friday, January 16, 2026
Follow Us
ලොව ලොකුම යාචක ධනවතා ඉන්දියාවේ

ලොව ලොකුම යාචක කෝටිපතියා ඉන්දියාවේ මුම්බායි නුවර ජීවත්වන බවට විදෙස් මාධ්‍ය අනුමාන කර තිබේ. එදා වේල පිරිමසා ගත නොහැකිව වැරහැලි හැඳ දිනය පුරා සිඟමන් යදින යාචකයන් අතර මෙවැනි අරුම පුදුම කෝටිපතියකු සීටිම මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා අතර වැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

භාරත් ජෙයින් නැමැති මේ යාචකයා මුම්බායි නුවර වීදි පුරා සිඟමනේ නිරතව සිටින බවත්, ඔහු විවාහකයකු බවත් වාර්තා වේ. බිරිය, පුතුන් දෙදෙනා, සොහොයුරා සහ පියා සමඟ ඔහු පදිංචිව සිටින නිවස ඉන්දීය රුපියල් කෝටි 1.2ක වටිනාකමින් යුතු බවත් අනාවරණය වී ඇති අතර, ඔහුගේ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 7.5ක් බව ඉන්ඩියන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. මීට අමතරව ඔහු සතුව වෙළෙඳසැල් දෙකක් ඇතැයි ද ඒවා රුපියල් තිස්දහස බැගින් කුලියට දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

බොහෝ යාචකයන් දෛනිකව වැඩිපුර කාලයක් වැය කරමින් වුවද සොච්චම් මුදලක් සොයා ගන්නා අවස්ථාවක මේ කෝටිපති යාචකයා පැය 12ක් පමණ ඇතුළත ඉන්දීය රුපියල් 2,500ක මුදලක් සොයා ගැනීමට සමත් වන බවත් වාර්තා වේ.

Dinamina