Tuesday, April 23, 2024
Follow Us
CTBTO විධායක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පස්දින නිල සංචාරයක් සඳහා පසුගිය 31 දිවයිනට පැමිණි විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා ඊයේ (02) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ධම්මිකා විජයසිංහ ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකාව තුළ සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයක ඇති වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවට ඇතුළත් විය.

ආචාර්ය ෆ්ලොයිඩ් මෙරට රැඳී සිටින කාලය තුළ විදේශ කටයුතු අමාත්‍ය, පරිසර අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවිය.

ශ්‍රී ලංකාව 1996 ඔක්තෝම්බර් 24 දින විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමට අත්සන් තැබූ අතර, 2000 ජූනි මාසයේදී විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානය සමඟ ඇති කර ගත් පහසුකම් ගිවිසුමක් මගින් ඊට අනුකූල වීම තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂණ පද්ධතියේ කොටසක් ලෙස මහනුවර පල්ලේකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානයක් පිහිටුවීමට මඟ සැලසිණි.
විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සියලුම අයවලුන් විසින් භූමිය තුල, භූමියට ඉහළින්, ජලය යට සහ පොලව යට හෝ ඕනෑම තැනක න්‍යෂ්ටික පිපිරීම් තහනම් කිරීමයි.
ආචාර්ය ෆ්ලොයිඩ් ගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්‍ෂා කෙරේ.