Friday, April 26, 2024
Follow Us
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන අවසරයක්

ශ්‍රී ලාංකිකයින්ට මෙරට වලංගු රියදුරු බලපත් ඉතාලියේදී භාවිත කිරීමට අවසර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී රීටා මනෙල්ලා මහත්මියගෙන් අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඉතාලියේ ජීවත්වන හා විවිධ රැකියාවල නිරතවන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවති අන්තර්ජාතික රියදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාවය පිළිබඳ ශ්‍රී ලාංකිකයයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ඉල්ලීම ඉටු කිරීමට ඊයේ (30) අධිකරණ බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේදී හමුවු අවස්ථාවේදී ඉතාලි තානාපතිනිය එකග වු බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉතාලි තානාපතිනිය හා අධිකරණ අමාත්‍යවරයා අතර පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර පවතින දිගු කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබදතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතාලි ජාතිකයිනට ද මෙරට කටයුතු කිරීමේදී ඉතාලි වලංගු රියදුරු බලපත්‍ර භාවිතා කිරීමට ශ්‍රී ලංකා රජයේ එකගතාවය ලබා දෙන ලෙස ද තානාපතිනිය අමාත්‍යවරයාගෙන් මෙහිදි ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ අන්‍යොනය මිත්‍රත්වය සැලකිල්ලට ගෙන එම ඉල්ලීම් කඩිනමින් ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, මෝරටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව මෙහිදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉතාලි තානාපතිනියට සහතික විය.
ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරතව ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජ සුබ සාධන සහ පොදු කටයුතු සම්බන්ධව ඉතාලි රජයේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍යවරයා තානාපතිනිය හමුවේ ප්‍රකාශ කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.