Friday, April 26, 2024
Follow Us
චීන ආණ්ඩුකාරවයෙකුගේ ශ්‍රී ලංකා සංචාරයෙන් සහන රැසක්

මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාත් ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය හා හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. 2023 මැයි 16 සිට 20 දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාත් ආණ්ඩුකාර වන් (ග්) යූගෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.

එකී අවබෝධතා ගිවිසුම මගින් අන්‍යෝන්‍ය සංචාර, ආර්ථික, වෙළඳ හා වාණිජ, අධ්‍යාපන, සංචාරක, කෘෂිකර්ම, මානව සංස්කෘතික හුවමාරුව, ජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කරයි.
චීනයේ යුනාන් පළාතේ ජනගහනය මිලියන 50ක් වන අතර 2022 දී ලබාගත් දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 417කි. මේ හේතුවෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරටට ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇත.
මෙම සංචාරයේදී ආණ්ඩුකාරවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවීමට නියමිත අතර කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ද අපේක්ෂිතය. මෙයට අමතරව මහනුවර, පොළොන්නරුව සහ නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට ද නියමිත අතර රුපියල් මිලියන 25 ක් වටිනා පාසල් බෑග් සහ ආහාර පාර්සල් ත්‍රිකුණාමලයේ සිසුන් සහ දිළිඳු පවුල් සඳහා ආණ්ඩුකාරවරයා විසින් පරිත්‍යාග කෙරේ.
චීනයේ යූනාන් පළාතේ විදේශ කටයුතු, අධ්‍යාපන, වාණිජ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් අතර ඔවුන් අදාළ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ඇත.
යුනාන් පළාත ශ්‍රී ලංකාව සමඟ වෙළදාම, බුදුදහම යනාදී වශයෙන් ඓතිහාසික සබඳතා ඇති අතර වසර 600 කට පෙර, චීන අද්මිරාල් ෂෙන්ග් හේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ වෙළඳාම සඳහා කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලාංකීය ජනතාව ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින පසුගිය වසරේ යුනාන් පළාත් රජය විසින් නැගෙනහිර පළාතේ අසරණ පවුල් 10,000 කට වැඩි පිරිසකට වියළි සලාක පරිත්‍යාග කෙරිණි.