Thursday, April 25, 2024
Follow Us
රටක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් කපා හැරේ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 10කින් කප්පාදු කිරීමට සැරසෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

 රටේ දැඩි ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක ෂෙබාස් ෂරීෆ් අගමැතිවරයාගේ ආණ්ඩුව ගැනීමට යන මෙම පියවර ගැන රාජ්‍ය සේවකයෝ දැඩි විරෝධය පළකරති.

 පාකිස්තාන රජය මෑතකදී පිහිටුවන ලද ජාතික කප්පාදු කමිටුව විසින් සකස් කළ නිර්දේශ අනිද්දා (01 වැනිදා) අගමැතිවරයා වෙත යොමු කිරීමට නියමිතය. එමගින් අමාත්‍යාංශ වියදම් සියයට 15කින් අඩු කිරීම, මධ්‍යම රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ උපදේශකයන් සංඛ්‍යාව 30 දක්වා අඩු කිරීමට යෝජනා කොට ඇතිබව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 ශ්‍රී ලංකාව වැනි බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින පාකිස්තානය අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් තවත් ණය සහනයක් අපේක්ෂාවෙන් පසුවේ. මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුව මෙම වියදම් කප්පාදුව සිදුකිරීමට ආණ්ඩුව සූදානම් වන බව සඳහන්ය. පාකිස්තානයේ මේ වනවිට පවතින විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ සති දෙකකට රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පමණකි. මූල්‍ය අරමුදල විසින් පළමු පියවර ලෙස ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් පාකිස්තානය සඳහා අනුමත කර ඇත. නමුත් ඊට අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරන තුරු ණය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
ARUNA