Wednesday, January 14, 2026
Follow Us
සංචාරකයින් සමගම චීනය ඩිස්නිලන්තයට අගුලු දමයි

චීනයේ ෂැංහයි නගරයේ පිහිටි ඩිස්නිලන්තය සංචාරකයින් සිටියදීම අගුලු දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ හේතුවෙන් සංචාරකයින් රැසක් ෂැංහයි හි පිහිටි ඩිස්නිලන්තය තුළ සිරවී සිටින බවයි.

ඩිස්නිලන්තයට අගුළු දමන බව නිවේදනය කිරීමත් සමග ඒ තුළ සිටි පිරිස් පිටවීම සදහා පිවිසුම් දොරටු වෙත පැමිණ තිබුණා. එහෙත් ඒ වනවිටත් බලධාරීන් විසින් සියලු දොරටු වසා දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඩිස්නිලන්තය තුළ සිරවී සිටින පිරිසට ඉන් පිටතට පැමිණීමට නම් ඔවුන් කොවිඩ් පරීක්ෂණයක් සදහා මුහුණ දී එම වාර්තා මගින් තමන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ යුතු බව බලධාරීන් දැනුම් දී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට අනුව ෂැංහයි හි ඩිස්නිලන්තයට එලෙස අගුලු දමා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉකුත් සෙනසුරාදා ෂැංහයි නගරයෙන් කොරෝනා ආසාදිතයින් 10දෙනෙකු වාර්තා වීම සහ ඔවුන් සමාජය තුළින් හදුනාගෙන තිබීමයි. කෙසේවෙතත් ඩිස්නිලන්තය යළි විවෘත කරන දිනයක් චීනය මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

Neth