Thursday, April 25, 2024
Follow Us
ශ‍්‍රී ලංකාවේ සිට පළායන IS සාමාජිකයින් පිරිසක් සොයා ඉන්දියාවේ දැඩි සෝදිසි

ශ‍්‍රී ලංකාවේ සිට පළායන IS සාමාජිකයින් පිරිසක් සොයා ඉන්දියාවේ කේරළ වෙරළ තීරය පුරා දැඩි සෝදිසි මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. එසේම එම වෙරළ තීරයේ ආරක්ෂාව ද දැඩි කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

IS සංවිධානයට සම්බන්ධ 15දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සුදුපැහැ බෝට්ටුවකින් ශ‍්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ මිනිකොයි දූපත වෙත පළා යමින් ඇතැයි එරට බුද්ධි අංශ වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

ඉන් අනතුරුවයි ඉකුත් 23 වැනිදා සිට කේරළ වෙරළ තීරයේ මෙම පුළුල් සෝදිසි මෙහෙයුම කි‍්‍රයාත්මක වන්නේ. ඒ අනුව කිලෝමීටර් 580ක් පුරා දිවෙන වෙරළ තීරය තුළ සිදුවන සැකකටයුතු කි‍්‍රයාකාරම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලෙස පොලිස් ස්ථාන 72ක ප‍්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය වෙරළාරක්ෂක පොලිස් අතිරේක අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පැය 24 පුරා කේරළ වෙරළ තීරය තුළ පොලිස් මුර සංචාරද සිදු කෙරෙන බව සඳහන්. ඊට අමතරව කේරළ ප‍්‍රාන්තයට අයත් තිරුවානන්තපුරම් නගරයේ පිහිටි සියලූ හෝටල් සහ තාවකාලික ලැගුම්හල්වලට ආගන්තුක පුද්ගලයින් පැමිණ ඇත්දැයි සොයා පුළුල් සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ධීවර වරායන් සඳහා පැමිණෙන ආගන්තුක බෝට්ටු සොයා ද විමර්ශන ආරම්භ කර ඇති අතර ධීවර බෝට්ටු හිමියන් සහ ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් සිටින ධීවරයින් ද දැනුවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

(Neth)