Wednesday, April 24, 2024
Follow Us
දශකයක් තිස්සේ දූෂණ මට්ටම්වල ප්‍රගතියක් ඇති වී නොමැති බව 2021 දූෂණ සංජානන දර්ශකය හෙළි කරයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI අගයන් ගණනය කිරීම සිදු කරයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් CPI ගණනය කිරීම් සිදු කරනු ලැබේ. මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගෙන ඇත. දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.

2021 වසරේ ශ්‍රී ලංකාව ලබා ගත් CPI අගය 37ක් වන අතර එය පසුගිය වසරේ ලබා ගත් අගයට (38) වඩා එකකින් අඩු වේ. 2020 වසරේ 94 වන ස්ථානය ලැබූ ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසුබැස ඇත. 2016 වසරේ දී අවම අගය 36කුත් 2012 වසරේ දී උපරිම අගය 40කුත් වශයෙන් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ CPI අගය සාපේක්ෂ වශයෙන් එක් පරාසයක පැවතී ඇත.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා උදෙසා ඵලදායි ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය සහ අකටයුතු නාදකයන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකය සම්පාදනයේ දී පදනම් වී ඇත.

CPI දර්ශකයේ ඇති රටවල් 86%ක් පමණ පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටු දැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැත. ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

බොහෝ රටවල් විසින් ගෝලීය කෝවිඩ්-19 වසංගතය, මූලික නිදහස සීමා කිරීමටත්, වැදගත් සංවරණ හා තුලන මග හරවා ගැනීමටත් නිදහසට කාරණයක් ලෙස භාවිත කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි. නිර්නාමික ෂෙල් සමාගම්වල අනිසි භාවිතය අවසන් කිරීමට ජාත්‍යන්තර වශයෙන් වැඩි ප්‍රවණතාවක් තිබියදීත්, සාපේක්ෂ වශයෙන් “පිරිසිදු” රාජ්‍ය අංශයන් ඇති ඉහළ අගයන්ගෙන් යුත් බොහෝ රටවල් අන්තර්ජාතික දූෂණය සක්‍රීය කිරීමට අඛණ්ඩව කටයුතු කරන බවට ද මෙම ආයතනය කරුණු මතු කරයි.

ඩෙන්මාර්කය (88), පින්ලන්තය (88) සහ නවසීලන්තය (88) දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන අතර සෝමාලියාව (13), සිරියාව (13) සහ දකුණු සුඩානය (11) එහි පහළ ස්ථානවල සිටීයි.

දූෂණයේ විෂම චක්‍රය, මානව හිමිකම් කඩකිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය යන ඒවාට එදිරිව සටන් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් පහත සඳහන් නිර්දේශ ආණ්ඩුවලට යොමු කරනු ලබයි.

බලය ඇති පුද්ගලයන්ගේ වගවීම තහවුරු කිරීමට අදාළ අයිතීන් ආරක්ෂා කිරීම.
බලය පිළිබඳ වන ආයතනික සංවරණ නැවත පිහිටුවීම සහ ශක්තිමත් කිරීම.
අන්තර්ජාතික දූෂණ ක්‍රියා මැඩලීමට කටයුතු කිරීම.
රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම.
* ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) යනු දූෂණය තුරන් කිරීමට සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින, දූෂණයට එරෙහි ගෝලීය සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) හි දේශීය පරිචයයි. වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සම්පාදනය කිරීමේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දත්ත ලබා ගන්නේ ඉහත සඳහන් කර ඇති පරිදි TISL ආයතනයට පරිබාහිර මූලාශ්‍රවලින් වේ.

(LNW)