Saturday, April 20, 2024
Follow Us
ඇමති බන්දුල සහ පාකිස්ථාන අගමැති අතර හමුවක්

වෙළෙඳ සහයෝගීතාවය ශක්තිමත් කරගැනීම ගැන සාකච්ඡා

පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊෙය් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් හමුවුණා.

ශ්‍රී ලංකා-පාකිස්ථානු වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නිරන්තර සාකච්ඡා පැවැත්වීමත්, අදහස් හුවමාරු කරගනිමින් සිය වෙළෙඳ කටයුතු වඩාත් ව්‍යාප්ත වූ වපසරියක් තුළ පවත්වා ගැනීමට රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයන් මෙහෙයවීමට අවශ්‍ය පියවර ගත යුතු බව මෙම අවස්ථාවේ දී පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පාකිස්ථානු රජය වශයෙන් බෞද්ධාගමික සංචාරක ක්ෂේත්‍රය සඳහා පාකිස්ථානය තුළ ඉඩ හසර වෙන් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික ජනතාව පාකිස්ථානය තුළ සංචාරය කිරීමේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරනු ලබන බවත් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවා.

එහිදී අධ්‍යාපන, සෞඛ්‍ය අංශ, තාක්ෂණික, ඇඟළුම්, සංචාරක ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක් තුළින් ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර වෙළෙඳ සහයෝගීතාවය වඩාත් ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ විදේශ අමාත්‍යාංශ නියෝජිතයින්, වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකාවේ හා පාකිස්ථානයේ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටියා.
(Aruna)