Thursday, July 03, 2025
Follow Us
පක්ෂයේ අර්බුදය විසඳන්න රටවල් 19ක තානාපතිවරු රනිල්ට කියති

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය කඩිනමින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.

අගමැතිවරයාගේ ආරාධනාවක් මත තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ඇමැති රවි කරුණානායකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙරේදා රාත්‍රී සහභාගි වූහ. පැය දෙකක පමණ කාලයක් මෙම හමුව පැවැති අතර අගමැති රනිල් වික්‍රමසිංහට අමතරව ඇමැතිවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ රවී කරුණානායක පමණක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, කොරියාව, කැනඩාව, ජපානය ඇතුළු රටවල් 19ක තානාපතිවරු මෙන්ම මහ කොමසාරිස්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී තානාපතිවරුන් දැනුවත් කර ඇත. පක්ෂයේ මතුව ඇති අර්බුදය කඩිනමින් විසඳන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

(Lanka Leads)