Wednesday, April 24, 2024
Follow Us
එක්සත් රාජධානියේ මෙරට නේවාසික තානාපතිනිය සහ අමාත්‍ය චමල් රාජපක්ෂ අතර හමුවක්

එක්සත් රාජධානියේ මෙරට නේවාසික මහා කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය සහ වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ආපදා කළමනාකරණය විෂයට අදාළව නිල සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදි ප්‍රධාන වශයෙන් නොවැම්බර් මාසයේ තුල ස්කොට්ලන්තයේදී පවත්වන ලද COP 26 දේශගුණික විපර්යාස සමුළුවේදී සාකච්ඡා කරන ලද කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන ලදි.

 

මිට අමතරව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ආපදාව සම්බන්ධව ඉදිරියට ගතයුතු ක්‍රියා මාර්ග සඳහා ජාත්‍යාන්තර මට්ටමින් ඇති කර ගත හැකි සහයෝගීතාවයන් සම්බන්ධව මෙන්ම ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාසයන්හී වෙන්සවීම් සම්බන්ධව ආරක්ෂක විධි විධාන පිළිබඳ ආසියානු ව්‍යාපෘති මාලාවක් ගොඩනැඟිම , පහත් තෙත්බිම් ආරක්ෂා කිරීම සහ එහි ඇති ගහ, කොළ හා ජීවීන් ආරක්ෂා කිරීම,දේශගුණික විපර්යාස සම්බන්ධව අනාගත පුරෝකථන හා ඉදිරියේදී සිදුවිය හැකි පරිසර විනාශයන් වළක්වා ගනිමින් අනුහුරුවීම ක්‍රියාත්මක කිරීම හා කෘෂිකාර්මික කටයුතු, ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු පිළීබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

තවද දෙරටේ ද්වීපාර්ශීකව ඉදිරියේදී කටයුතු කිරීම සඳහා නිලධාරී මට්ටමින් ඉදිරියට ගෙනයාමට එකඟතාව පළ කරන ලද අතර, නුදුරේදීම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ විෂයයට අදාල නිලධාරීන් සමඟ විෂයානුබද්ධව සාකච්ඡා කිරීමට නියමිතයි.

 

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී මැතිව් ඩේත් මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහන්දපුර මහත්මිය ද සහභාගි විය.

(news.lk)