Thursday, March 28, 2024
Follow Us
ජපානයේ මරුබේනි සංස්ථාව ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ව්‍යාපෘතිය, රෙදිපිළි සහ විදුලි වාහන කර්මාන්තය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 375ක් ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරයි

මෙගාවොට් 200ක බලයකින් යුත් මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ආයෝජන අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මරුබේනි සංස්ථාවේ ආසියාව සඳහා වන විධායක කළමනාකාර කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර දී ඔවුහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මුදල් අමාත්‍යවරයා හමු වූහ. ඇමරිකානු ඩොලර් බිලියන 67 ක ආදායමක් සහ වසර 160 ක ඉතිහාසයක් හිමි මරුබේනි සංස්ථාව පුනර්ජනනීය බලශක්තිය, රෙදිපිළි සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර සම්බන්ධයෙන් විශේෂිත වේ. මරුබේනි සංස්ථාව මේ වන විට ජලය මත පාවෙන සූර්ය බලශක්ති පද්ධතියක් සඳහා ආයෝජනය කිරීමේ වෙනත් හැකියාවන් පිළිබඳව ගවේෂණය කරමින් සිටින අතර පුළුල් රෙදිපිළි නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකාව ඔවුන් වෙත ඉල්ලීම් යොමු කොට ඇත. ත්‍රිරෝද විදුලි රථ හඳුන්වාදීම මෙන්ම විදුලි රථ ආරෝපණ ජාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ හැකියාව පිළිබඳව ගවේෂණය කරන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර මෙම කර්තව්‍යය ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජනයක් ඉක්මවනු ඇත.

තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව මරුබේනි සංස්ථාව අදාළ බලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ සිදු කරන කටයුතු සම්බන්ධීකරණය කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෝකියෝ
2021 දෙසැම්බර් 01 වැනි දින