Thursday, April 18, 2024
Follow Us
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මේ දිනවල මෙරට සංචාරයක නිරතව සිටින, සමකාලීන වහල්භාවය සහ ඊට මූලික වන හේතු සහ ප්‍රතිවිපාක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබොකටා මහතා, නොවැම්බර් 26 වැනි සිකුරාදා දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

සම්ප්‍රදායික වහල්භාවය, ණය බන්ධන, බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම, ළමුන් වහල්භාවයේ යෙදවීම, වහල්භාවය වැනි තත්ත්වයන්, ලිංගික වහල්භාවය, බලහත්කාරයෙන් හා අඩු වයසින් විවාහ කරවීම මෙන්ම සංක්‍රමණික සේවකයන් සහ විදේශික කම්කරුවන් මුහුණ දෙන අර්බුද වැනි ගැටළු පමණක් නොව, ඉන් ඔබ්බට යන ගැටළු සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ බලතල මෙම විශේෂ වාර්තාකරුට හිමිව ඇත.

කම්කරු සුබසාධන කටයුතුවලට අදාළව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා රජය ගෙන ඇති ඵලදායී පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙම හමුවේ දී සාකච්ඡා කළේ ය. ළමා ශ්‍රමිකයන්, සංක්‍රමණික සේවකයන් සහ ණය බන්ධන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි කම්කරු නීති සකස් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව ද එතුමා විස්තර කළේ ය. ශ්‍රී ලංකාව 'ළමා ශ්‍රමයෙන් තොර කලාපයක්' බවට පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විශේෂ වාර්තාකරු සිය ප්‍රසාදය පළ කළේ ය.

අවදානමට ගොදුරු විය හැකි කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් පසුවන බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ව්‍යුහය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ද අවධාරණය කළේ ය. අදාළ එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම්වල විශේෂතා අවබෝධ කර ගැනීමට මෙන්ම, අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන පරිදි දේශීය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා, විශේෂ ක්‍රියාපටිපාටි පිළිබඳ බලතල දරන්නන්ගේ මෙවැනි සංචාර උපකාරී වී ඇති බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 දෙසැම්බර් 01වැනි දින