Wednesday, July 09, 2025
Follow Us
නව ප්‍රභේදය නිසා දඬුවම් එපා - දකුණු අප්‍රිකාව ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිය රට දඬුවමට ලක්ව ඇතැයි දකුණු අප්‍රිකාව චෝදනා කරනවා.

විදෙස් වාර්තා පැවසුවේ නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය සිය රටට එරෙහිව විදෙස් රටවලින් පනවා ඇති සංචාරක තහනම හෙළා දැක ඇති බවයි.

ඒ අනුව විද්‍යාවේ විශිෂ්ඨත්වය අගය කළ යුතු නමුත් ඒ ඔස්සේ රටවලට දඬුවම් නොකළ යුතු බවයි එම නිවේදනය මගින් දකුණු අප්‍රිකාව පෙන්වා දෙන්නේ.

ලොව අනෙක් රටවලින් කොරෝනා නව වෛරස් ප්‍රභේදයන් සොයා ගත් අවස්ථාවන්වලදි ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් ජාත්‍යන්තර ප්‍රජාව සිය රටට ප්‍රතිචාර දක්වමින් සිටින බවට ද දකුණු අප්‍රිකාව චෝදනා නැගුවා. එසේම සිය රටට එරෙහිව සංචාරක තහනම් පනවා ඇත්තේ විද්‍යාත්මක හේතු මත පදනම්ව නොව දේශපාලන හේතු මත පදනම්ව පමණක් බවයි දකුණ අප්‍රිකාව චෝදනා නැගුවේ.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් රැසකින් වාර්තා වනවා. එම රටවල් අතරට, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා, හොංකොං හා ඊශ්‍රායලය යන රටවල් අයත්.

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිතයින් හමුවීමත් සමග විදේශිකයින් සඳහා රට වසා දැමීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේවනවිටත් අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(Neth)