Monday, September 16, 2024
Follow Us
ඇමරිකානු ගිවිසුම ගැන ජනපති - අගමැති අතර මත ගැටුම් !

ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයා අතර මතගැටුම් තවදුරටත් වර්ධනය වී තිබෙනවා. මෙම තත්ත්වය ඇමරිකානු බලධාරීන්ගේ කණස්සල්ලට හේතු වී ඇති අතර මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවසන් අනුමැතිය ඉතා ඉක්මනින් අපේක්ෂා කරන බවයි.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත්තේ අදාල ගිවිසුම අනුමත කිරීම සඳහා ලබන ජනවාරි මාසය දක්වා කාලය ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් ඊට අගමැතිවරයා නොසතුට පළකර ඇති අතර ඔහු අවධාරණය කර ඇත්තේ මෙම ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කළ යුතු බවයි.

මේ වනවිට අදාල ගිවිසුම සම්බන්ධයෙන් විරෝධයක් රට තුළ නිර්මාණය වී තිබේ. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවට විවිධ පාර්ශ්වය චෝදනා කරයි. මේ නිසා ජනාධිපතිවරයා දිගින් දිගටම මෙම ගිවිසුම පිළිබඳ අවසන් තීරණය ගැනීම කල් දමමින් සිටී. ජනාධිපතිවරයා නැවතත් ලබන ජනවාරි දක්වා කාලය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නෙ ඔහු ඇඟ බේරා ගැනීමට සූදානම් වන බවයි. ලබන ජනවාරි වනවිට නව ජනාධිපතිවරයෙකු පත් කිරීමට නියමිත අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණ වන්නේ සිය ධුර කාලය අවසන් වනතෙක් ගිවිසුම අත්සන් කිරීමෙන් වැලකී සිටීමයි.

පසුගියදා මාධ‍්‍යවේදීන්ගේ හමුවක් අමතමින් ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ සංවර්ධන ආධාර ප්‍රදානය කිරීමක් මිස මෙරට අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමක් මෙම ගිවිසුම හරහා සිදු නොවන බවයි. MCC යනු USAID වැනි ඇමරිකානු රජය යටතේ ක්‍රියාත්මක වන ආධාර ලබාදෙන ආයතනයක් බවත් එම ආයතනයෙන් අරමුදල් ලබාදීමේදී ඉතා සරළ කොන්දේසි හා නියමයන් පමණක් සලකා බලන බවයි.

මෙම ගිවිසුම හරහා මෙරට රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මුදලක් ලබාදීමට නියමිතය.

(LNW)