Wednesday, May 08, 2024
Follow Us
චීනය සමග ශ්‍රී ලංකාවේ සබඳතාව ගැන කිසිදු සැකයක් ඇතිකර ගන්න එපා - ජනපති ඉන්දියාවට කියයි

චීනය සමග ශ්‍රී ලංකාව පවත්වන සබඳතා පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් මහතාට ප්‍රකාශ කර තිබේ.

ඉන්දි‍ය විදේශ ලේකම්වරයා සමග ඊයේ (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණු අතර එම හමුව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.

******************************

 

මාධ්‍ය නිවේදන - 2021.10.05

ද්විපාර්ශ්වීයව ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි - ජනපති ඉන්දීය විදේශ ලේකම් සමග කියයි.

Ø දෙරට අතර 60 සහ 70 දශකවල පැවති සබඳතාව යළි ගොඩනගමු..
Ø ඉන්දියන් සාගරය සාම කලාපයක් බවට..
Ø ශ්‍රී ලංකාවේ ස්ථාවරයට ඉන්දීය සහාය අවශ්‍යයි..
Ø ඉන්දීය ආයෝජකයන්ට විවෘත ආරාධනයක්..

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, කරුණු දීර්ඝව පැහැදිලි කරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනාගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබාදිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළඳ අසමතුලිතාව පිළිබඳව කරුණු පැහැදිලි කරදුන් ජනාධිපතිතුමා කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.

අතුරුදහන් වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුලු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

13 වන ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනා කළ බව ද ජනාධිපතිතුමා ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පැවසීය.

උතුර - නැගෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිතුමා යුද සමයේ දී ආරක්ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 90%කට අධික ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇති බවත් පැවසීය. අතුරුදහන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇති වූ අනෙකුත් ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිලි කර දෙනු ලැබීය.

දෙරටේ භුගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

චීනය සමග ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙස ද ඉන්දීය විදේශ ලේකම්වරයා සමග කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබේ. ඒ සඳහා ඉන්දීය ආයෝජකයන්ට ද විවෘතව ආරාධනා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිතුමාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකි බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.

(LNW)