Wednesday, May 08, 2024
Follow Us
ඉන්දීය විදේශ ලේකම්ගෙන් රජයට සහතිකයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර පැවැති හමුවේදීයි.

අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවුණා.

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් පියවර එහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

එහිදී අදහස් පළ කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසුවේ ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන් රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳව ද මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාගේ හා විදේශ ලේකම්වරයාගේ අවධානය යොමුව තිබුණා. රටවල් දෙකෙහිම කොවිඩ් මර්දන එන්නත්කරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බැවින් නැවත සබඳතා ආරම්භ කිරීමේ වැදගත්කම ද මෙම හමුවේදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් අවධාරණය කර තිබෙනවා.

මේ අතර සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද හමුවුණා.

ඒ, මුදල් අමාත්‍යංශයේදීයි. ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණදීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පැවසුවේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ඉන්දියාව සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත යොමු කරවීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

(Neth)