Wednesday, May 08, 2024
Follow Us
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ගැටළු විසඳන බව ජනපති, යුරෝපා දූත පිරිසට කියයි

ඉතිහාසයේ කිසිඳු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග මිරිහානේ පිහිටි සිය නිවසේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේවනවිටත් එකග වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව,
ශ්‍රී ලංකාව සමග එක්ව වැඩකිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම එම දූත කණ්ඩායමේ අපේක්ෂාව වනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එම සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට අවස්ථාව හිමිවන බවයි මෙම දූත පිරිස සඳහන් කළේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සහය ලබාදෙන බව ද එම නියෝජතයින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම නියෝජිතයින් හමුවේ සඳහන් කර ඇත්තේ අවශ්‍ය කමිටු පත් කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධයන කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවයි.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ ඉදිරියට ගෙනයාමට දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ඩයස්පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ සඳහන් කළ බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

(Neth)