Friday, March 29, 2024
Follow Us
එයරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ පැවති රැස්වීම

මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එහි පැමිණෙන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නියෝජිත පිරිස සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ 2021 සැප්තැම්බර් 03 වැනි දින මොස්කව්හි එයරොෆ්ලොට් මූලස්ථානයේ දී රැස්වීමක් සංවිධානය කළේය. මෙම රැස්වීමේ දී, මොස්කව්-කොළඹ අතර නව ඍජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් බවත්, එය 2021 නොවැම්බර් 4 වැනි දින ආරම්භ වන බවත් පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරීහු සඳහන් කළහ.

ශ්‍රී ලංකාව සුරක්‍ෂිත හා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සම්බන්ධ වීම තුළින් සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නව උත්සාහයක් දරමින් සිටී. එවැනි ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීම සඳහා එයරොෆ්ලොට් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් සමඟ මෙම සාකච්ඡාව පැවත්විණ.

එයරොෆ්ලොට් ගුවන් සමාගමේ කළමනාකරණය සමඟ පැවති සාකච්ඡාවේ දී, මොස්කව් සිට කොළඹ දක්වා කෙරෙන ඍජු ගුවන් ගමන් සම්බන්ධ ගුවන් මෙහෙයුම් පිළිබඳ ගැටලු සහ එම ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කෙසේ කටයුතු කළ යුතුද, සංචාරක හා ගුවන් සේවා ආශ්‍රිත කරුණු සහ සංචාරක හා ගුවන් සේවා යන දෙඅංශය අතර වියහැකි සහයෝගිතාව, දෙරටටම අදාළ වන යාවත්කාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ, එන්නත්කරණ වැඩසටහන සහ එයරොෆ්ලොට් සමාගමට ශ්‍රී ලංකාව සමඟ සිය මෙහෙයුම් කටයුතු සුමටව ආරම්භ කිරීමට හා අඛණ්ඩව කරගෙන යාමට ශ්‍රී ලංකා බලධාරීන් පහසුකම් සලසන්නේ කෙසේද යන කරුණු පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා කළහ.

විදේශ සබඳතා හා සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නටාලියා ආර්. තෙයිමුරසෝවා මහත්මිය, විකුණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. ඉසෙඩ්. අස්මතුලොව් මහතා, ගුවන් සේවා බලධාරීන් සහ සංවිධාන සමඟ කටයුතු කරන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අයි.වී. චර්නිෂොව් මහතා, ජාල විශ්ලේෂණ හා සැලසුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී එන්.එන්. බොබ්‍රොව් මහතා, විදේශ සබඳතා හා සන්ධාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශේෂඥ ඒ.බී. චුගුනොව් මහතා, අයිවන් ජී බටනොව් මහතා සහ ඇන්ටන් පී. මයාකොව් මහතා විසින් මෙම සාකච්ඡාවේ දී පීජේඑස්සී එයරොෆ්ලොට් නියෝජනය කරන ලදි.

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා, ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) උපදේශක සම්බන්ධීකාරක නිමේෂ් හේරත් මහතා සහ සංචාරක අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් කුමාර මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ එක් වූ අතර, මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ පළමු ලේකම් (වාණිජ) තවිශ්‍යා මුල්ලේගම්ගොඩ මහත්මිය සහ භාෂා පරිවර්‍තක ඇනා මකරොව්ස්කායා මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

දේශසීමා නැවත විවෘත කළ 2021 ජනවාරි 21 වැනි දින සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, 2021 නොවැම්බර් 4 වැනි දින සිට ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමඟ රුසියානු සංචාරකයින්ගේ පැමිණීමේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහන් කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මොස්කව්
2021 සැප්තැම්බර් 16 වැනි දින